Tuesday, July 4, 2017

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සහ ඉන්දියාව...

ඉන්දියාවේ හිටපු සෞඛ්‍ය ලේකම්වරිය වන සුජාතා රාඕ මහත්මිය විසින් ඉන්දියාවේ සෞඛ්‍ය වලපල්ලට ඇද දැමූ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිලිබඳ පවසා ඇත්තේ මෙලෙසිනි.


indiaspend.com
“ වෛද්‍ය අධ්‍යාපනය වානිජකරණය වීම නිදහස් ඉන්දියාව තුල සිදු වූ විශාලතම වරදයි. කුසලතාවය මත නොව මුදල් මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස පෞද්ගලික අංශ විසින් වෛද්‍ය උපාධිය අලෙවි කරනා එකම රට ඉන්දියාවයි”


ශ්‍රී ලංකාව තුල දැනට ඇතිවී ඇති තත්ත්වය සඳහා ඇති ආසන්නතම උදාහරණය වන්නේ පසුගිය දශක දෙක තුල ඉන්දියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වූ පිරිහීමයි. ඒ පිළිබඳව සැකෙවින් විමසා බලමු.

·         ඉන්දියාව තුල පැවති එක් වෛද්‍යවරයෙකු සඳහා ඇති රෝගීන් සංඛ්‍යාවේ අනුපාතය අඩුකර ගැනීම සඳහා පිලියමක් ලෙස 1950 දශකයේ දී ඉන්දියාව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සඳහා අවසර දෙන ලදි. එසේම 1991 දී විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමග තවදුරටත් සිදු කරන ලද සංශෝධන තුලින් මෙය ප්‍රවර්ධනය කරන ලදි.

·         මේ වන විට ඉන්දියාව තුල රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකටම අයත් වෛද්‍ය විද්‍යාල 579ක් පවතින අතර වසරකට 50000 කට අධික වෛද්‍ය උපාධිධාරීන් පිරිසක් ඒවායින් පිට වේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හඳුන්වා දී බලාපොරොත්තු වූ අභිමතාර්ථ ඉන්දියාව මේ වන විට ළඟා කරගෙන තිබේද යන්න ගැටලුවකි.

·         නිර්දේශයට අනූව එක් වෛද්‍යවරයෙකු සඳහා සිටිය යුතු රෝගීන් ගණන 1000ක් වුවද, ලොව වැඩිම වෛද්‍යපීඨ සංඛ්‍යාවක් ඇති ඉන්දියාවේ එම අගය 1700කි. වෛද්‍යවරු ව්‍යාප්තියේ ඇති අසමානතා සහ නාගරික ප්‍රදේශවල වෛද්‍යවරු කේන්ද්‍රගත වීමද ගැටලුවක්ව පවතී.

·         තවද විශාල වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවක් පැවතියද ඒවා බහුතරය නාගරික, මුදල් යහමින් ගැවසෙන ප්‍රදේශ වලට ඒකරාශී වී තිබීම සහ සෙසු ග්‍රාමීය ප්‍රදේශ වල වෛද්‍ය විද්‍යාල ආවම වීමද ගැටලුවකි.

·         එසේම සමීක්ෂනයකින් ඔප්පු වී ඇත්තේ ඉන්දියාවේ වෛද්‍යවරුන්ගෙන් 45% කටම වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට නිසි පුහුණුවක් නොමැති බවයි.

ඉන්දියාවේ මේ වගේ තත්ත්වයක් ඇති වීමට හේතු මොනවද කියල සමීක්ෂණ වාර්තා රැසකින්ම පෙන්නුම් කර තිබේ. එයින් ප්‍රධාන කරුණක් වන්නේ සිසුන්ට අධ්‍යාපනයේ ප්‍රමුඛතාවය ලබාදීම වෙනුවට ලාභ ලැබීමේ පරමාර්ථයෙන් වෛද්‍ය විද්‍යාල පිහිටුවීමයි.

ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේද, ඉන්දියානු වෛද්‍ය සභාව (IMC) පැවතියද, පුද්ගලික වෛද්‍ය විද්‍යාල හිමිකරුවන් මුදල් බලයෙන් මෙම ආයතනය තම යටතට පත් කරගෙන ඇති බව සමීක්ෂණ වාර්තා වල සඳහන් වේ. 2010 වසරේදී ඉන්දියානු වෛද්‍ය සභාවේ සභාපති විශාල වශයෙන් අල්ලස් ලබාගෙන ඇති බවට අධිකරණය ඉදිරියේ ඔප්පු වී ඇත.

එමෙන්ම ඉන්දීය වෛද්‍ය සභාව මගින් නුසුදුසු යැයි තීරණය කළ ආයතනද යලි සලකා බලන ලෙස අධිකරණය හරහා නියෝග ඉදිරිපත් වී ඇත. මෙලෙස ඉන්දීය අධිකරණ පද්ධතියද වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය බාල කිරීමට ක්‍රියා කර ඇත.

ඇතැම් ආයතන තුල සිසුන් බඳවා ගැනීමට සිදුකරන විභාග වංචනිකව සිදු කරන බවටද සාක්ෂි ලැබී ඇත. 2012 සිට මේ දක්වා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ 2500 කට අධික සිසුන් සහ ආචාර්යවරුන් පිරිසක් මෙම ඇතුලත්වීමේ විභාග වලදී වංචා කළ බවට චෝදනා ලබා ඇත.

බොහෝ වෛද්‍ය උපාධිධාරීන් හට මෙම වෛද්‍ය පීඨ වලින් නිසි සායනික පුහුණුවක්ද නොලැබේ. ඉන්දියානු නීති රීති වලට අනුව සෑම වෛද්‍ය විද්‍යාලයකම අනුබද්දිතව අඩුම වශයෙන් ඇඳන් 300ක් සහිත ශික්ෂණ රෝහලක් පැවතිය යුතු වුවද රෝගීන්ට වියදම් දැරීමට ඇති අපහසුතාව නිසා මේවා බොහෝ විට හිස්ව පවතී.

එසේම මෙම ආයතන වළ උග්‍ර ආචාර්යවරුන්ගේ හිඟයක්ද පවතී. එක් ආචාර්යවරයෙක් සඳහා ඇති සිසුන් ගණන ඉතා ඉහල අගයකි. මෙය තමන්ගේ ව්‍යාපාර සඳහා බාධාවක් නොවීම සඳහා මෙම කුඨ ව්‍යාපාරිකයන් තම උපාධි ආයතන වල ආචාර්යවරුන් ලෙස ආයතනයට කිසිදා පා තබා නොමැති ඇතැම්විට කිලෝමීටර සිය ගණනක් ඈතින් වෙසෙන ආචාර්යවරුන්ගේ නම් සුළු මුදලකට මිලදීගෙන ඒවා තම ආයතනයේ ප්‍රචාරණය සඳහා යොදා ගනී.

අවසන් විභාගයෙද තත්වය මෙසේය. සියලු උපාධි ආයතන වලින් පිටවන වෛද්‍යවරුන් සඳහා එකම අවසන් විභාගයක් නොපැවැත්වේ. එසේම සෑම වෛද්‍යපීඨ හයකින් එකක්ම විභාග වංචා කිරීම පිළිබඳව අධිකරණයෙන් චෝදනා ලබා ඇත.

සුදුසුකම් නොලත් වෛද්‍යවරු බිහිවීම හේතුවෙන් රෝගීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ලවීම පිලිබඳ උදහරණද ඉතා විශාල වශයෙන් ඉන්දියාවෙන් වාර්තා වේ.



Monday, June 26, 2017

සයිටම් ගැන සැකෙවින්෴

දකුණු ආසියානු තාක්ෂණික හා වෛද්‍ය අධ්‍යාපන ආයතනය (SAITM) 2008 වසරේ එහි ආරම්භය සඳහා පිඹුරුපත් සැකසීමේ සිට මහත් මතභේදයට තුඩු දුන් මාතෘකාවක් බවට පත් වී ඇත. ආරම්භයේ සිටම එහි ක්‍රියාදාමය ශ්‍රී ලංකා වෛද්‍ය අධ්‍යාපනයට මෙන්ම, සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයට එල්ලවන දැවැන්ත තර්ජනයක් බවට පත් වී ඇති අතර එමගින් 1950 වර්ෂයේදී ඉන්දියාවේ පෞද්ගලික වෛද්‍ය ආයතන පිහිටුවීමත් සමග එරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ඇති වූ දැවැන්ත පසුබෑමෙහි අඳුරු සේයාවන් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනය ලෙස උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය 1980 වසරේදී පිහිටුවීමත් සමග පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ සමාජීය හා දේශපාලනික වශයෙන් විශාල කතිකාවතක් නිර්මාණය විය. අවසානයේදී එහි ප්‍රතිඵලයක් ලෙස එය ජනතා අයිතියට පත් කරන ලදි. එබැවින් මෙම අර්බුදය හමුවේදී ද වඩාත් වැදගත් සාධකය බවට පත්වන්නේ, තවදුරටත් ව්‍යාකුල වීමට පෙර මෙම ගැටලුව නිරාකරණය කිරීමයි.

SAITM ආයතනය ස්ථාපනය කිරීමේ හා කළමනාකරණය කිරීමේ ක්‍රියාපටිපාටිය සිතාමතාම අතපසු කිරීම හෝ නොසලකාහැරීම හේතුවෙන් පැනනැගුනු අක්‍රමිකතා රාශියකින් යුක්ත වේ. මෙම ආයතනය වාණිජ පරමාර්ථ මුදුන්පත් කර ගැනීම සඳහා මහජනතාව මෙන්ම ඔවුන්ගේම අධ්‍යාපන ආයතනයේ සිසුන් ද මංමුලා කර ඇත.

බොහෝ වෘත්තිය සංවිධාන මෙම වංචනික ආයතනයට විරුද්ධව නිසි පියවරක් ගන්නා ලෙස බලකර සිටියද වගකිව යුත්තන් ඒ පිලිබඳ මුනිවත රැකීම මතභේදයට තුඩු දී ඇති කරුණකි. 

මෙරට පවතින වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිරිහී යාමත් සමග ඉන් ජීවිත අවධානමකට ලක් වන්නේ ගුණාත්මක වෛද්‍ය සේවයක් අපේක්ෂාවෙන් පැමිණෙන අසරණ රෝගී ජනතාවයි. එසේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධිපත්‍යයට හානි කිරීම රටේ වෛද්‍ය අධ්‍යාපනයත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයත් විනාශ මුඛයට අද දැමීමේ පළමු පියවර වනු ඇත.

සයිටම් ආයතනය ස්ථාපනය වීමත් සමග තවත් එවැනි ආයතන කිහිපයක්ම මෙරටට පැමිණීමට මාන බලමින් සිටින අතර, ඉන් මාරු පහර එල්ල වන්නේ මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියටයි.

තවද කුසලතාවයට වඩා මුදල් බලයට ප්‍රමුඛතාවය හිමි වීම තුලින් නිදහස් අධ්‍යාපනයට සහ වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ සුජාත උරුමය වන දක්ෂතාවය දෝතින් දරා ගත්, එහෙත් අතමිට මුදල් නොගැවසෙන දරු පරපුරක අවිහිංසක අනාගත බලාපොරොත්තු වලට මාරු පහරක් එල්ල වේ. එසේම SAITM මගින් සැපයෙන භයානක පූර්වාදර්ශය සහ එහි ප්‍රතිවිපාක තුලින් ශ්‍රී ලංකාවේ ජීවනාලිය බඳු වූ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය සදහටම මියැදෙනු ඇත.